Fri. Jun 27th, 2025

බදුල්ල මාරක අනතුරේ රියදුරගේ ලයිෂන් හුටපටයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා බදුල්ලේදී සිදුවූ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස්රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් මීට පෙර මාස 05කට අත්හිටුවා ඇති බව අද අධිකරණය හමුවේ අනාවරණය වී තිබුණා.

අක්මීමන පොලිස් බල ප්‍රදේශයට අයත් ගාල්ල ලබුදූව ප්‍රදේශයේදී ඔහු පැදවූ බස් රථය සහ යතුරුපැදියක් අනතුරට ලක්කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 04 වැනිදා ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරනවා.

සිද්ධිය පිළිබඳ තොරතුරු අක්මීමන පොලිසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (නොවැ 5) ඉදිරිපත් කළා.

උඩුගම, දම්මල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු තම බලපත්‍රය නැතිවූ බවට හිනිදුම පොලිසියට අසත්‍ය වාර්තා කර ඇති අතර පසුව ඒ වෙනුවට නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා.

බදුල්ලේදී අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු සතුව තිබී ඇත්තේ මෙලෙස වංචනිකව ලබාගත් රියැදුරු බලපත්‍රය බවයි පැවසෙන්නේ.

මෙම තොරතුරු සැළකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ දැනට සැකකරු සන්තකයේ ඇති රියදුරු බලපත්‍රය රඳවා තබාගෙන අධිකරණ භාරයට පත්කරන ලෙස නියෝග කළා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් පසුගිය සිකුරාදා (නොවැ. 01) මාර්ගය හරහා පෙරළීමෙන් සිදුවූ මාරක බස් රථ අනතුරින් සිසුවියන් දෙදෙනෙකු මියගොස් 40 දෙනකු තුවාල ලැබුවා.

අනතුර සිදුවීමට ටික වේලාවකට පෙර සිසුන් රැගත් බස් රථය අධික වේගයෙන් ධාවනය වූ ආකාරය දැක්වෙන දර්ශන ඇතුළත් මෝටර් රථයක ඩෑෂ් කැම් දර්ශන මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *