ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසුරිය අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි පළවන ජනමාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ඇමැති විජිත හේරත් පවසනවා.
මෙම වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළා.
“කවුද එහෙම කියන්නේ? දැන් තමයි මම එහෙම එකක් ඇහුවේ. ඔය හිතාමතා හදන ප්රවෘත්ති. මාළිමාවේ අපි එකට.”
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් වන තීරණයේ අගමැති හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැහැදිලි වෙනසක් වාර්තා වූ බව ඇතැම් ජනමාධ්‍ය ආයතන ඊයේ වාර්තා කළා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා එම ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වීම ගැටලුසහගත බවත් මහාචාර්ය සම්පත් අමරතුංගට තව දුරටත් සිය ධුරයේ කටයුතු කළ හැකි බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු ජනාධිපති කාර්යාලය හිටපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවත් අදාළ ප්රවෘත්තිවල පළ වුණා.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න එම ධුරයට පත්කෙරුණා.
අදාළ ප්රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අගමැති කාර්යාලය ද පැහැදිලි කිරීමක් සිදුකර තිබූ අතර එහි මෙසේ සඳහන් වුණා.
“මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති සාවද්‍යතාවයන් පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු. කරන ලද ප්‍රකාශ අසත්‍ය, පදනම් විරහිත සහ මහජනතාව නොමඟ යවනසුළුය. ජනාධිපති අනුර කුමාර හා අගමැති හරිනි අමරසූරිය අතර කිසිදු ගැටුමක් හෝ මතභේදයක් ඇති වී නැත. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ උපදෙස් හා එකඟත්වය ඇතිව සිදුකරන ලද්දකි. මෙවැනි නොමග යවනසුළු තොරතුරු ප්‍රචාරය කිරීම බරපතල ප්රශ්නයකි. එය අපගේ කාර්යාලයේ අවංකභාවය පළුදු වන අතර මහජන විශ්වාසය පළුදු කරයි.”